රුසියාවේ WhatsApp සම්පූර්ණයෙන්ම අවහිර කරයි
රුසියානු රජය විසින් Meta සමාගමට අයත් WhatsApp Massenger යෙදුම සම්පූර්ණයෙන්ම අවහිර කර ඇති බව Kremlin (රුසියානු රජය) ප්‍රකාශ කර තිබේ. රුසියානු නීති අනුගමනය කිරීමට Meta සමාගම කැමැත්ත පළ නොකළ බැවින් මෙම තීරණය ගෙන ඇති බව ක්‍රෙම්ලින් ප්‍රකාශක Dmitry Peskov සඳහන් කළේය. ඔහු පවසන්නේ, WhatsApp වෙනුවට රුසියානු රජය අනුග්‍රහය දක්වන “MAX” නමැති ජාතික මැසෙන්ජර් යෙදුම භාවිතා කිරීමට ජනතාවට හැකි බවයි. MAX යෙදුම “ජාතික විකල්පයක්” ලෙස හඳුන්වා දී ඇති අතර, රුසියානු පුරවැසියන් සඳහා වෙළඳපොළ තුළ දැනටමත් ලබාගත හැකි බවද ඔහු කියා සිටියේය.
මෙම තීරණය වසර අර්ධයකට ආසන්න කාලයක් පුරා WhatsApp මත එල්ල වූ පීඩනයක අවසාන පියවරක් ලෙස සැලකේ. රුසියානු බලධාරීන් පවසන්නේ විදේශීය තාක්ෂණික සමාගම් රුසියානු නීති වලට යටත් විය යුතු බවයි. එසේ නොවන්නේ නම්, ඒවා රට තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බවයි ඔවුන්ගේ ස්ථාවරය වේ.

Meta සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින්, රුසියාවේ මිලියන 100කට අධික පරිශීලකයන්ගේ පෞද්ගලික සහ ආරක්ෂිත සන්නිවේදනය අවහිර කිරීම අයහපත් පියවරක් බවත්, එය ජනතාවගේ ආරක්ෂාව අඩු කරනු ඇති බවත් සඳහන් කළේය. WhatsApp සමඟ සම්බන්ධ domain නාම කිහිපයක් රුසියානු ජාතික domain ලේඛනයෙන් ඉවත් කර ඇති අතර, එමඟින් රුසියාව තුළ සිට WhatsApp සේවාව වෙත සෘජුව ප්‍රවේශ වීම අවහිර වී තිබේ. දැනට එය භාවිතා කළ හැක්කේ VPN සේවාවක් හරහා පමණි. විවේචකයන් පවසන්නේ MAX යෙදුම පාලකයන්ට පරිශීලක දත්ත නිරීක්ෂණය කිරීම පහසු කරන මෙවලමක් විය හැකි බවයි. එහෙත් රුසියානු බලධාරීන් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, එය ආරක්ෂිත සහ විශ්වාසනීය ජාතික පද්ධතියක් බව පෙන්වා දෙයි.
මෙය රුසියාවේ “ඩිජිටල් සර්වභෞමත්වය” වර්ධනය කිරීමේ විශාල උත්සාහයක කොටසක් ලෙස සැලකේ. පසුගිය වසර කිහිපය තුළ Facebook, Instagram වැනි Meta සමාගමට අයත් අනෙකුත් සේවාවන්ද රුසියාවේ සීමා කර තිබුණි.Moscow නගරයේ ජනතාව අතර මෙම තීරණය පිළිබඳ මිශ්‍ර ප්‍රතිචාර දක්නට ලැබේ. කිහිප දෙනෙක් එය අනුමත කළද, අනෙකුත් අය එය පෞද්ගලික නිදහස සීමා කිරීමක් ලෙස විවේචනය කර ඇත. මෙම අවහිර කිරීම රුසියාවේ තාක්ෂණික පරිසරය සහ සමාජ මාධ්‍ය භාවිතය මත විශාල බලපෑමක් ඇති කරනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
Comments (4)
Please login to comment