මගේ පළමු ලිපිය මෙය වන අතර උඩින් පල්ලෙන් ලියන ලිපියකට වඩා යම්තාක් දුරට දැනුම සපිරි ලිපියක් ලෙස මෙය ලිවීමට සිතුවා.

ඔබගේ පෙන් ඩ්‍රයිව් (ෆ්ලෑෂ් ඩ්‍රයිව්) එකේ තිබුන පින්තූර, සින්දු එහෙමත් නැතිනම් ඕනෑ ම ආකාරයක දත්ත හදිස්සියේ ම අතුරුදහන් වෙලාද?

උදාහරණයක් විදියට, වෛරස් සහිත පෙන් ඩ්‍රයිව් එකක් ප්‍රතිවෛරස් මෘදුකාංගයක් සහිත පරිගණකය ට සම්බන්ධ කිරීමෙන් මෙවැනි දෙයක් සිදු විය හැකිය.

ඇත්තෙන් ම මෙහි දී සිදු වෙන්නේ, අදාල වෛරසයන් මගින් පෙන් එකෙ හි ඇති සියලුම ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස්වල ට වෛරසය සහිත ෂෝට්කට්ස් පෙන් එක තුළ සකස් කර අදාල ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සඟවා දැමීම යි. එයින් වෛරස නිපදවන්නන් බලාපොරොත්තු වන්නේ අප විසින් අපගේ දත්ත විවෘත කිරීමේ දී රහසිගත ව අප විසින් ම අදාල වෛරසය විවෘත කර ගැන්නී ම වන අතර අප විසින් විවෘත කරන්නේ වෛරසය මඟින් සකස් කළ ෂෝට්කට්ස් නිසා කිසිඳු වෙනසකින් තොර ව අදාල දත්තයන් ද අපට දැක බලා ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.

නමුත් තත්ත්වය බරපතල වන්නේ ප්‍රති වෛරස් මෘදුකාංගයක් මඟින් වෛරස් සහිත ෂෝට්කට්ස් ටික මකා දැමීමට පසුවයි. එවිට අදාල දත්තයන් පෙන් එක තුළ තිබුණ ද, පෙර කී ෂෝට්කට්ස් නොමැති නිසා අපගේ දත්තයන් තවදුරටත් දැක බලා ගැනීමට අපට නොහැකි වී යයි. නැවත පෙන් එකට දත්ත දැමීමට තැත් කරන ඇතැම් අවස්ථාවල දී පෙන් එකෙහි ඉඩ නොමැති බවට මැසේජ් එකක් ලැබෙනු ඇත. බොහෝ දෙනා මෙම අවස්ථාවේ දී ‘පෙන් එකට වෛරස් ගිහින්’ යයි පවසමින් පෙන් එක නැවත ෆෝමැට් කර භාවිතයට ගනී. එහි දී ඇත්තෙන්ම සිදු වන්නේ එම අවස්ථාව වනතුරු පෙන් එකෙහි සැඟවී තිබූ දත්ත ඔබ විසින් ම මකා දැමීම යි.

මෙසේ වෛරසයක් මඟින් දත්ත සඟවනුයේ එම දත්තවල File Attributes වල Hidden, Read Only, Archive සහ System යන ප්‍රොපර්ටීස් එනේබල් කිරීමෙනි. Hidden සහ System යන ප්‍රොපර්ටීස් එනේබල් කිරීම පමණක් මෙසේ අපගෙන් දත්ත සඟවා තැබීමට ප්‍රමාණවත් ය.

Folder Properties

බොහො විට System ප්‍රොපර්ටි එක මෙහි දී දක්නට නොලැබේ. එය බලා ගැනීමට අවශ්‍ය නම් ඩොස් කමාන්ඩ් භාවිතා කිරීමට සිදුවේ.

(H – Hidden, R – Read only, A- Archive, S – System)

මෙසේ දත්ත අතුරුදහන් වූ අවස්ථාවල දී වින්ඩෝස් එක්ස්ෆ්ලෝරර් මඟින් පෙන් එක විවෘත කළ ද එය හිස් බව පෙන්වන අතර පෙන් එක මත රයිට් ක්ලික් කර ප්‍රොපර්ටීස් බැලූ විට ෆ්‍රී ස්පේස් අඩු වී ඇති බව දැක ගත හැකි වේ.

අපි දැන් සලකා බලමු මෙසේ සැඟව අතුරුදහන් වී ඇති දත්ත නැවත ලබා ගන්නේ කෙසේ ද යන්න. මේ සඳහා පළමුව පෙන් එකට අදාල Drive Letter එක වින්ඩෝස් එක්ස්ෆ්ලෝරර් මගින් සොයා ගන්න. ඔබගේ Drive Letter එක නිවැරදිව මතක තබා ගත යුතු වේ. එසේ නොමැති වුවහොත් ඔබගේ හාඩ් ඩිස්ක් එකෙහි ඇති System ෆයිල්ස් නිරාවරණය වී යාමට හැකියාව ඇත.

දැන් Windows Key + R එකවර ඔබා රන් වින්ඩෝව ලබාගෙන ඒ තුළ cmd ලෙස ටයිප් කර එන්ටර් කරන්න. එවිට Command Prompt එක ඔබට ලැබෙනු ඇත. දැන් පහත රතු පැහැයෙන් දක්වා ඇති කමාන්ඩ්ස් නිවැරදිව ලබා දෙන්න.

  • C:\Users\Your_Name\> G:  ටයිප් කර එන්ටර්  ඔබන්න. මෙහි දී G අකුර වෙනුවට ඔබගේ Drive Letter එක භාවිතා කරන්න. දැන් පහත ආකාරයට ඔබගේ  Drive Letter එකට Command Prompt එක වෙනස් වනු ඇත.

G:\>

  • G:\> Attrib *.* -s -r -h -a /s /d  ටයිප් කර එන්ටර් ඔබන්න.

දැන් සුලු වේලාවකට පසු නැවත G:\> ලෙස දිස්වෙනු ඇත. (එම කාලය පෙන් එක හි ඇති දත්ත ප්‍රමාණය මත තීරණය වනු ඇත. එය විනාඩි ගණන ක් වීමට ද හැකි ය.) මෙසේ දිස් නොවී වෙන මැසේජ් එක ක් දිස් වුනි නම් කමාන්ඩ්ස් ලබා දීමේ දී යම් කිසි වරදක් සිදු වී ඇත.

  • G:\> Attrib “System Volume Information” +s +h ටයිප් කර එන්ටර් ඔබන්න. මෙම කමාන්ඩ් එක ලබා දීම අතාවශ්‍ය නොවුව ද එයින් “System Volume Information” ෆෝල්ඩර් එක නිරාවරණය වීම වලක්වා ගත හැක. සමහරු මෙම ෆෝල්ඩර් එක වෛරස් ලෙස හඳුන්වන අතර ඇත්තෙන්ම එය වින්ඩෝස් වල System ෆෝල්ඩර් එකකි. වෛරස් සැගවීමට එය යොදා ගැනීම එසේ හැඳින්වීමට හේතුව යි. තව ද මෙම කමාන්ඩ් එක ලබා දීමේ දී එම නමින් ෆයිල් එකක් හෝ කමාන්ඩ් එකක් නොමැති බව සඳහන් මැසේජ් එක ක් දිස් වේ නම් එය නොසලකා හරින්න.

දැන් Command Prompt එක ක්ලෝස් කළ හැකිය. එසේ ම ඔබගේ සියලු ම දත්ත පෙර පරිදි තිබෙන බව ද බලා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

ලිපිය ගැන ඔයාලගේ අදහස් කොමෙන්ට් කරනවා නම් බොහොම සතුටුයි.

– Dhananjaya Prabhash –

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,