පෙර දිනක දී මා දුටු වීඩියෝ ක්ලිප් එකක් මෙම ලිපිය ලිවීමට පාදම වුන අතර එම වීඩියෝ ක්ලිප් එක Record කරන අය සැම්සුන් එස් 3 ෆෝන් එකක බැටරියක් ගලවා පෙන්වා දෙමින් සඳහන් කරන්නේ සැම්සුන් ෆෝන් එකේ බැටරිය තුළ සඟවා ඇති විද්‍යුත් පරිපථයක් මගින් අපගේ දුරකථනයේ ඇති ෆොටෝස් වීඩියෝස් වැනි පුද්ගලික දත්ත වෙබ් එකට අප්ලෝඩ් වන බව ත් එම පරිපථ කොටස බැටරියෙන් ගලවා ඉවත් කර භාවිතය ට ගතයුතු බව ත් ය. අපි බලමු මෙසේ ඔවුන් හෙළි කරන කාරණාව කෙතරම් දුරට භයානක එකක් ද කියලා.

 

ඇත්තෙන් ම ඔවුන් මෙලෙස බැටරිය තුලින් ඉවත් කර පෙන්වන උපකරණ කොටස අපගේ දත්ත වෙබ් එකට අප්ලෝඩ් කරන යක්‍ෂයෙක් නොවන බව පළමුව සඳහන් නොකළහොත් එය මා විසින් ඔබව මුලා කිරීමකි.

එසේ නම්, කුමක් ද ඔවුන් මෙසේ ගලවා ඉවත් කිරීමට උපදෙස් දෙන්නේ?

එය “NFC” එහෙමත් නැතිනම් “Near Field Communication” තාක්‍ෂණය ඔබගේ දුරකථනයට ලබා දෙන ඇන්ටෙනා කොටස යි. එය ගලවා ඉවත් කිරීමෙන් සිදුවන්නේ මෙම තාක්‍ෂණය සහිතව නිර්මාණය වූ දුරකථනය නැවත එම තාක්ෂණය නොමැති  පැරණි දුරකථනයක් බවට පරිවර්ථනය කර ගැනීම කි.

කරුණු එසේ නම් මෙම “NFC” තාක්‍ෂණය ගැන නොදන්නා අය ට ඒ පිළිබඳ ව කුඩා විස්තරයක් මෙසේ පළකර මි.

“NFC” එහෙමත් නැතිනම් “Near Field Communication” යනු 1983 වර්ෂයේ හදුන්වා දුන් RFID තාක්‍ෂණය පදනම් කරගෙන නිර්මාණය වූ  2003 වර්ෂයේ දී සම්මත කරගත් ඩේටා ට්‍රාන්ස්ෆරින් ටෙක්නොලොජි එකකි. මෙම “NFC” තාක්‍ෂණය RFID රේඩියෝ තරංග භාවිතා කරන නිසා භාවිතා කරන්න පහසු වීම, “NFC” අපගේ සාමාන්‍ය ජීවිතයට වඩාත් ලං වීමට හේතුවක් වී ඇතැයි මා විශ්වාස කරමි. මෙම තාක්‍ෂණය සෙන්ටි මීටර් 4ක් වැනි ඉතාම සුළු දුර ප්‍රමාණයක් තුළ පමණක් සම්බන්ධ වන නිසා ආරක්‍ෂාව අතින් ද ඉහළ මට්ටමක පවතී.

දැන් අපි බලමු මෙම “NFC” අන්තර්ගතවන උපාංග මොනවා ද කියලා.

  1. ජංගම දුරකථන
  2. බැංකු කාඩ් පත්
  3. බස්, දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා සඳහා ගෙවීම් කිරීමට ඇති කාඩ් පත්
  4. ජාතික හැඳුනුම්පත් (ඉලෙක්ට්‍රොනික)
  5. රියදුරැ බලපත්
  6. දොර අගුළු (ඉලෙක්ට්‍රොනික)
  7. සිම් කාඩ් පත්

මේවාට අමතරව බොහොමයක් උපාංග ක්‍රියාත්මක කර ගැනීමට විකල්ප වශයෙන් මෙම “NFC” තාක්‍ෂණය භාවිතා කරයි.

 

දැන් අපි බලමු මෙම “NFC” තාක්‍ෂණය භාවිතා කරන්න පුළුවන් මොන වගේ වැඩ කරගන්න ද කියලා.

ජංගම දුරකථනය සම්බන්ධව කථා කරනවා නම්, මෙම “NFC” තාක්‍ෂණය භාවිතයෙන් කාර්යයන් රැසක් අපට ඉතාමත් පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒවා අතර ප්‍රධාන වශයෙන්,

  • ඔබගේ බැංකු කාඩ් පත හෝ ප්‍රවාහන සේවා ගෙවීම් පත හෝ වෙනත් එවැනි මුදල් ගෙවීම් කාඩ් පතක් ලෙස ඔබගේ ජංගම දුරකථනය භාවිතා කිරීම සඳහා
  • දුරකථන දෙකක් වයි-ෆයි හෝ බ්ලූටූත් මගින් සම්බන්ධ කිරීමේ දී පාස්කෝඩ් එකක් නොමැතිව භාවිතා කිරීම සඳහා
  • ඔබ ඔබගේ කාර් එක තුළ සිටින විට කාර් එක සමග ස්වංක්‍රීයව දුරකථනය  සම්බන්ධ කිරීම සඳහා

ඉහත සඳහන් කළ දේවල් වලට අමතරව තවත් පහසුකම් රැසක් භාවිතා කිරීමට අපට මෙම “NFC” තාක්‍ෂණය නිසා හැකියාව ලැබී ඇත.

බ්ලූටූත් හෝ වයිෆයි භාවිතා කර උපකරණ සම්බන්ධ කිරීමේ දී පාස්කෝඩ් ලබාදීම වෙනුවට එම උපාංග දෙක එකිනෙකට ලං කිරීම තුලින් එම උපාංග සම්බන්ධ කර ගැනීමට හැකි වීම මෙම තාක්‍ෂණය නිසා ලැබෙන වාසිය කි.

දුරකථනයෙහි ඇති සෙටිංස් හෝ ඇප්ස් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කර ගැනීමට ද මෙම “NFC” තාක්‍ෂණය භාවිතා කළ හැක. ඒ සඳහා “NFC” ටැග්ස් වෙළඳපොලෙහි මිල දී ගැනීමට ඇති අතර විවිධ කාර්යයන් සඳහා ඒවා වෙන් වෙන් වශයෙන් අපගේ දුරකථනයට ප්‍රෝග්‍රෑම් කර ගැනීමට අපට හැකියාව ඇත. එසේ පෙර සැකසුම් සිදුකර ගැනීමෙන් පසුව අපට අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම “NFC” ටැග්ස් වෙත දුරකථනය ලං කිරීමෙන් පමණක් ඔබට අවශ්‍ය කාර්යයන් ස්වයංක්‍රීයව සිදු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. උදාහරණ ලෙස ඔබගේ නිදන ඇඳ අසල මේසය මත ඇති “NFC” ටැග් එකක් මතට ලං කිරීමෙන් ස්වයංක්‍රීයව දුරකථනය සයිලන්ස් කිරීම හෝ ෆ්ලයිට් මෝඩ් කියාත්මක කිරීමට හෝ දුරකථනය ක්‍රියා විරහිත කර ගැනීමට හැකිය.

දුරකථන සම්බන්ධයෙන් “NFC” තාක්‍ෂණය බොහෝ වපසරියක විහිදෙනු ලබන අතර කෙනෙකුගේ දුරකථන අංක හා තොරතුරු  ස්වයංක්‍රීයව තවත් අයෙකුගේ දුරකථනයට සේව් කිරීමට බිස්නස් කාඩ් එකක් වශයෙන් ද, වයිෆයි පාස්වර්ඩ් ස්වයංක්‍රීයව ඇතුළු කර දුරකථන වයිෆයි ජාලයකට සම්බන්ධ කිරීම ද ඉහත කී සේවාවන් වලට සුළු උදාහරණ පමණකි.

 

“NFC” ටැග්ස් භාවිතයෙන් දුරකථනය හසුරවනවාට අමතරව බැංකු කාඩ් පත් හෝ ප්‍රවාහන සේවා ගෙවීම් පත් හෝ වෙනත් එවැනි මුදල් ගෙවීම් කාඩ් පත් ලෙස ඔබගේ ජංගම දුරකථනය භාවිතා කිරීමට ද ඔබට හැකියාව ලැබෙයි. ඒ සඳහා ඔබගේ දුරකථනයෙහි මෙම “NFC” තාක්‍ෂණය තිබිය යුතුය. එසේ තිබේ නම්, ඔබගේ බැංකු ගිණුම් හෝ ගෙවීම් කාඩ්පත් ඔබගේ දුරකථනයට රෙජිස්ටර් කළ හැකිය. පසුව ඔබට මුදල් ගෙවීමක් සිදු කරන අවස්ථාවක දී ඔබ අත ඇති දුරකථනය පමණක් භාවිතයෙන් අදාල ගෙවීම සිදු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ගෙවීම් කාඩ් පත් රැගෙන යාමට අමතක වීම හෝ ඒවා අස්ථාන ගත වීම හෝ ගෙවීම කරන අවස්ථාවේ ඔබගේ බෑග් එක තුළ හෝ මුදල් පසුම්බිය තුළ කාඩ් පත් සෙවීමට හෝ සිදු නොවීම මෙහි ඇති විශාල වාසියකි. පින් අංක යොදා මෙම කාඩ්පත් සුරක්‍ෂිත කර ගැනීමට ඔබගේ දුරකථනයෙන් හැකියාව ලැබෙන නිසා ආරක්ෂාව ගැන බිය විය යුතු  නොවේ.

 

Apple Pay, Android Pay ක්‍රියාත්මක වන්නේ ද මෙම “NFC” තාක්‍ෂණය හා මෙම සංසිද්ධිය භාවිතා කිරීමෙනි.

 

තත්ත්වය එසේ නමුත් ඔබගේ දුරකථනය ඇපල් එකක් නම් මෙම තාක්‍ෂණය භාවිතා කිරීමට ගැටළුවක් පවතියි. එනම් මෙම “NFC”  තාක්‍ෂණය දැනටමත් ඔබගේ දුරකථනයෙහි ඇති නමුත් එය භාවිතා කළ හැක්කේ Apple Pay සඳහා පමණි. නව සංස්කරණය වන iOS 11 හි මෙම තාක්‍ෂණය තුන්වන පාර්ශවයන්ට භාවිතා කිරීමට අවස්ථාව සැලසීමට යන බවට කටකතා ඇත. එය එසේ වුවහොත් ඇපල් ෆෝන් භාවිතා කරන්නන්ට ද මෙම නව “NFC” තාක්‍ෂණය භාවිතා කරමින් වැඩ්ඩෙක් වීමට හැකියාව ලැබෙනු ඇත.

 

තව ද, මෙම තාක්‍ෂණය භාවිතා කරමින් නිපදවනු ලැබූ මෙමරි කාඩ්ස් ඇති අතර ඒවාගේ තිබෙන පින්තූර හා ෆ්‍රී ස්පේස් වැනි තොරතුරු මෙමරි කාඩ් එක ඔබගේ දුරකථනයට ලං කළ පමණින් ම දැනගැනීමට හැකියාව ඔබට ලැබී ඇත.

 

මෙම “NFC” තාක්‍ෂණය නොමැති දුරකථන තුළින් ද මෙම තාක්‍ෂණය භාවිතා කර ගෙවීම් කටයුතු පමණක් කර ගැනීමට යම්තාක් දුරට හැකියාව ලබා දෙන සිම් කාඩ් ඇති අතර දුරකථන සම්බන්ධතා ආයතන මගින් මෙම සිම් කාඩ් ලබා ගත යුතුය. මෙම සිම් කාඩ් එකක් ඔබගේ දුරකථනයට යෙදීමෙන් “NFC” තාක්‍ෂණය නොමැති ඔබගේ පැරණි දුරකථනයකින් පවා අදාල සේවාවන් සඳහා “NFC” තාක්‍ෂණය භාවිතා කර ගෙවීම් කටයුතු සිදු කරගැනීමට හැකියාව ඔබට ලැබෙනු ඇත. (ලංකාවේ මෙම සිම් කාඩ් ලබා ගැනීමට හැකියාව ඇති දැයි මෙම ලිපිය ලියන මෙහොතේ දී මා නොදන්නා නමුත් මා දැනට ජීවත්වන ඩුබායි වල ඇති දුරකථන සම්බන්ධතා ආයතන දෙක වන ‘DU’ හා ‘Etisalat’ ආයතන මගින් මෙම සේවාව ලබා දෙන බව දනිමි)

 

නමුත් දැනට ලංකාවේ මෙම “NFC” තාක්‍ෂණය භාවිතා වෙනවා ද යන්න නම් සැක සහිතයි.

ඔබගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි.

 

සටහන

– Dhananjaya Prabhash –

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,